Tuesday, 1 August 2017

දස ගොන් සෙන් වස්තුව - කකුන්


පරිවර්තනය : හෂිත  
අම්බලමේ ගොනා වෙත ඉමහත් බැතියෙනි 

1.  ගවේෂණය
මෙලොව (භවය) නම් තණ බිමෙහි
නොකඩවා උස තණ දෙබෑ කර
මම ගවේෂණයේ යෙදෙමි.
නම් නැති නදී දිග
ඈත කඳු මැද
එකිනෙක හා වෙළුනු
පෙත් මං අතර
මං මුලා වී..
ශක්තියෙන් සිඳෙමින්..
ප්‍රාණය විඩාපත් වෙමින්.
මට ගොනු සොයා ගත නොහැකි වී ..
රෑ මැද..
තුරු විටප අතරෙහි
රෑසියන් අඬන හඬ
පමණක් මට ඇසේ..

අටුවාව: වෘෂභ  තෙමේ කිසිවිටෙක නැති නොවුනි. එනිසා සෙවීමට කිසි  අවශ්‍යතාවක් වීද ? මගේ යථා  ස්වභාවයෙන් වෙන් වීම හේතුකොටගෙන පමණක් මම ඔහු සොයා ගැනීමේ අසමත් වීමි. ඉඳුරන් වියවුල් වීම නිසා මට ඔහුගේ අඩි සටහන් මග හැරුණි. නිවස්නයෙන්  දුර බැහැරව සිටින මට බොහෝ අතුරු මාවත්  පෙනෙයි. එයින් කිනම්  මාවතක් නිවැරදි දැයි මා නොදනී. තණ්හාව  හා භය , හොඳ හා නරක මා පටලාගෙන සිටී.

2. ගොවලු හමු වීම
ගඟක ඉවුරෙහි තුරු යට
මට හමු වීය ගොවලු
සුවඳැති තණ පඳුරු යට
පෙනුනි පිය සටහන්..
දුර කඳු අතර ගැඹරෙහි..
හමුවිය උහු සටහන් තවත්..
මුහුණ මැද නැහැය මෙන්..
තවත් සැඟවිය නොහැකි..
අනන්තය වෙත ඇදුනු..
තවත් සටහන් තිබුණි..

අටුවාව: ඉගැන්වීම් අවබෝධ කරගනිමින් සිටින මට ගොනු කුර පහර පෙනෙයි. එවිට මම බොහෝ උපකරණ  එකම ලෝහයකින් තනා  ඇති අයුරින් ම සක්කාය වියමනින් බොහෝ  ප්‍රපංචයන් තැනී  ඇත. බෙදා වෙන්කර නොගත හොත් මම සත්‍යයෙන් අ-සත්‍යය කෙසේ වෙන්කර  ගන්නද? තවමත් දොරටුව වෙත හෝ එළඹ නැති මා මෙතෙක් මග වටහාගෙන  ද නැත.

3. ගවයා දැකීම

මට ඇසෙයි රෑ කොවුල් හඬ
ඉර උණුසුම්ය, මුදු සුළඟය..
වෙරළ දිග පලා පැහැ විලෝ තුරු පෙළ දිගුය
කිසි උසබෙකුට මෙහි සැඟවී සිටිනු නොහැකිය
කවර සිත්තරෙකු නම්
සිතුවමෙහි සමති වෙද
උහු සුවිසල් සිරස
අං යුවල.. තෙදසින් දුලන..

අටුවාව: යමෙකුට හඬක් ඇසෙන විට ඒ ඇසුරින් හඬේ මූලය රුප්පනය කළ හැකිය. සයේන්ද්‍රියයන් එකිනෙක හා කිඳා බැස්ස විට, ද්වාරයෙන් ඇතුල් වූවා වීය හැකිය. ඇතුල් වන තැනැත්තේ මහේෂයාගේ හිස දකී! එම ඒකත්වය දියෙහි ලුණු මෙන් වෙයි, වර්ණකයක වර්ණය මෙන් වෙයි. ඉතා සුළු දෙයක් පවා සක්කායෙන් බැහැර නොවේ.


 4. ගොනු අල්වා ගැනීම
දුෂ්කර ක්‍රියා කොට
අල්වා ගතිමි මා ගොනු,
උහු බලය, තණ්හාව, අදිටන..
විඩා නොවෙනා සුලුය,
දිවෙයි උහු උස තැන්නට..
ඔබ වළා-මීදුමෙන් ඉහළ ට
නැතොත් වෙයි නොසෙල්වී
ළඟා විය නොහෙන ගිරි කඳුරක..

අටුවාව: ඔහු බොහෝ කලක් වනයේ වාසය කර ඇත, නමුත් මම ඇත ඔහු අල්වා ගතිමි! දර්ශනීය බවකෙරේ  ඇති රතිය ඔහුගේ දිශාව හා මුසුව පවතී. ප්‍රණීත තෘණ කෙරේ ආසා වඩවන ඔහු ඉවත ඇවිද යයි. ඔහු ගේ විඥානය තවමත් අදම්‍ය  හා  රෑන්  ලා නැත. මා ඔහු හික්මවනු යුතු නම්, කසය එසවිය යුතුය.

5.  මහිෂයා හීලෑ කිරීම

කෙවිටද කඹ ද ඇවැසිය
නැතොත් උහු පැන යයි
දූවිලි මාවතක වල් කමේ..
හික්මවනු ලද විටෙක සොබාවෙන් මුදු වෙයි
එවිට මිදුවද නාස් ලණුවෙන්..
අවනතය හිමි හට..

අටුවාව: එක සිතිවිල්ලක් නැගෙන කල්හි, තවත් සිතිවිල්ලක් ඒ පසුපස එයි. මුල් සිතිවිල්ල අවබෝධයෙන් පැන නගින කල්හි ඉන් පසුව එන සිතිවිලි සියල්ල සත්‍යය බවට පත් වෙයි. මෝහය නිසා සියල්ල අසත්‍යය බවට පත් වෙයි. මෝහය ට හේතු වන්නේ විෂය මුලිකත්වය නොවේ, එය උපදින්නේ ආත්මමුලිකත්වය නිසාය. නාස් ලණුව තදින් ගත යුතුය, කිසිදු විජිගීෂාවකට ඉඩ නොතැබිය යුතුය.  


6. ගොනු හා නිවෙසට ඒම

නැගී ගොනු පිට මම
පෙරළා නිවස වෙත එමි..
මා මුරලියෙහි හඬ
සර මුදයි නිසෝදය සිසාරා..
අත්තලමින් තබා තාලය
මනිමි ස්ඵන්දනය වන
මාධූර්යය..
සුන් නොවෙන රිද්මයක්
මා වෙතින් ඉකුත් වෙයි..
මේ තනු අසන සැමෙකෙක්
මා සමග එක් වෙයි

අටුවාව: විර්යය අවසන්ය, ලාභ අලාභ සංසිඳුනි. මම ගමේ දර කපන්නා ගේ ගීය ගයමි, කුඩා දරුවන්ගේ සැහැලි තනු වයමි. ගොනු අරා නුබ ගැබ සිසාරා ඇති වලාවන් දෙස නෙත් යොමමි. කවුරු මා ආපසු ඇමතුවද මම ඉදිරියට ම යමි.

7. ගවයා ඉක්මවා යාම

තබා දිගු පියවර
පසුකර ගොනු
නැවත පැමිණෙමි නිවෙසට
මා සිල්වත් ය දැන්..
ගොනුට ද ලද හැකිය විවේකය
ප්‍රභාතය පැමිණිය..
ප්‍රමෝදෙන් සතපා
මා කුඩා පැල්පතෙහි
අත් හළෙමි
කෙවිට හා තේඩාව...

අටුවාව: එක එකක් මිස දෙකක් නොවේ. ගවයා යනු තාවකාලික ආරම්මණයකි. එය හාවා හා උගුල හෝ මත්ස්‍යයා හා දැල අතර සම්බන්ධය මෙනි. එය මඩ බොර හා රන් මෙනි. මේඝය හා සඳ  මෙනි. අනන්ත කාලය විනිවිද ගමන් කරන අලෙව් දෙන එක මාවතක්  පමණක් වෙයි.

8. ගවයා හා සක්කාය ඉක්මවා යාම

වැඩි පුරත් සමග පියවර තබා
තිබුණි ආපසු එන්න මූලයට හේතුවට
මුල සිටම ගොළුව බිහිරිව සිටී නම් එයද යහපති
කෙනෙකුගේ සත් වාසයෙහි
නොතකා වෙන නොවෙන කිසිවක්
ගඟ ගලයි සමථයෙහි
රතු පාට මල් රත් මල්..

අටුවාව: මධ්‍යස්ථ භාවය අවසන්ය. මනස සීමාවන්ගෙන් වියුක්තය. මම කිසිදු අවබෝධයක් සොයා නොයමි. අවබෝධයෙන් තොර තැනක නො පවතිමි. මා ඒ කිසි තත්වයක නොපවතිමි. ඇසට මා ග්‍රහණය නොවෙයි. සියක් සියොතුන් මා යන මගෙහි කුසුම් ඇතිරුව මුත් එවන් අභිවාදනයක් අරුත් රහිතය.

9. හේතුව හමු වීම

කෙවිට තේඩාව මම සහ ගොනු
නැති-දෙයක ගිලී ගොණු වනු
මෙසක්වළ සුවිසල් - කිසි සඳෙසකට කිළි නොකළැකි
බුරා බුරා නගින ගිනි කඳෙක කොහි
කොපමණක් හිම පියළි තිබෙණු හැකි?
මේ මහ පියවරුන්ගේ පා අඩි..!
අටුවාව: ආරම්භයේ සිටම සත්‍යය පැහැදිලි දෙයකි. නිහඩ සමාධියකට වැදී සියලු උප්පාද-භංග ‘රූප’ (රුප්පනය කරන්නේ යමෙක්ද එය රූප නම් වෙයි) නිරීක්ෂණය කරමි. රුපයට නොඇලුණු තැනැත්තේ  අ’රූප’ කිරීමේ උවමනාවක් නැත. ජලය මරකත මණි පැහැතිය, කඳු නිල් අවරිය පැහැතිය. තවද ඇතිවන  හා නැතිවන දේ මට පෙනේ.

10. ලො වැළඳීම

නිකං පා, වතින් තොර පපුවැති
මෙලොව මිනිසුන් අතර මුසු ව යමි
වස්ත්‍ර වැරහැලිව ධූලියෙන් වැසී
මම සදා සතුටින් වෙමි..
දිවි දිගු කරන මෙන්
මායා කිසිත් නොයොදමි..
දැන් මා ඉදිරියෙ මළ රුක්හු ..
දලු ලති..


අටුවාව: මගේ දොරටුවෙන් ඇතුළත, කිසිදු මුනිවරයෙක් මා නොහඳුනයි. මගේ උයනේ සුන්දරත්වය අදිසි ය. කෙනෙක් ආදී පිතු වරුන්ගේ පිය හසර සොයන්නේ කුමට? මගේ මධු බඳුන අතැතිව පොළට  ගොස් සැරයටියේ  වාරුවෙන් ආපසු එමි, මගේ නෙතට ලක්වෙන සියල්ලෝ අවබෝධය ලබත්. 

මූලාශ්‍ර 

http://www.expressionsofspirit.com/10bulls/tenbulls.htm
http://www.accesstoinsight.org/tipitaka/mn/mn.033.than.html

No comments: