Friday 16 March 2012

රස කතා -3



කතන්දරයක් සම්පූර්ණ වීමට එහි අභ්‍යන්තර හෝ බාහිර දුෂ්ඨයෙක් සිටිය යුතු ය. බොහෝ කතන්දර නපුරු රජෙක්, කුඩම්මෙක්, රාස්සයෙක්, මකරෙක්, ඩාර්ත් වේඩර් කෙනෙක් ගෙන් යුක්ත වෙයි. මේ දුෂ්ඨයා හඳුනා ගත නොහැකි විට නම් කළ නොහැකි විට ‘අරූපික’[amorphous] ගෝනි බිල්ලෙක් මැවෙයි.

කාලය විසින් වෙනස් නොකරන එක දෙයක් නම් මිනිස් සිතෙහි සාංකාවයි. සංස්කෘතීන් හරහා දිවෙන කතන්දර විසින් හෙළි කරන්නේ මිනිස් වර්ගයා සදා පෙලන සාංකාවන්හි ඇති පොදු බවයි. ගෝනිබිල්ලා ; ඌචන්ඩි(කේරළ) පූචන්ඩි (තමිළ්නාඩුව) බුවා (මහාරාශ්ඨ‍්‍රය) බාජෝ (මියන්මාරය) ඛොඛාන් (අසර්බයිජානය) නමින් අපට ආසන්න ආසියාවේ පෙනි සිටී. ලංකාවේ ගෝනි බිල්ලා ට ඇත්තේ පෘතුගීසි උපතක් විය යුතුය (o homem do saco =ගෝනි මිනිහා) .

පරම්පරා අනුයාමනයේ බලාපොරොත්තුව ගෝනිබිල්ලා බිඳ දමයි. දරුවන් අතුරුදන්විම සදාකාලික මිනිස් වේදනාවකි. කවර වූ හේතුවක් නිසා හෝ දරුවන් ගෙන් වෙන් වන්නට සිදුවු කෙනෙකුට එකී හේතුව ගෝනිබිල්ලෙක් වෙයි. දරුවන් සිය රැකවලේ තබා ගනු පිණිස ගෝනිබිල්ලා මවා ඔවුන් බියගන්වන මිනිස් චර්යාව කලින් කල හිස ඔසවයි. දරුවන් දෙමව්පියන් වෙත බැඳ තබන ආර්ථික හා සමාජයීය සාධක ඉක්මවා යන කුසලතා වර්ධනය කරගනිමින් ගෙයින් පිට වන විට, ගෝනිබිල්ලා මිතුරෙක්, පෙම්වතියක, දේශපාලන කණ්ඩායමක වේශයෙන් දෙමාපියන් හා නැවත සම්මුඛ වේ.

අපට වටහා ගත නොහැකි යමක් අප වටා සිදු වන විට අපි පරණ කතන්දර යාවත්කාලීන කරමු. ගෝනි බිල්ලා සමූහ හිස්ටීරියාවක ග‍්‍රීස් යකෙක් බවට රූපාන්තරණය වෙන්නේ මේ නොවැටහීම නිසාය. හැන්සල් හා ග්‍රෙටල් අල්ලා ගන්නා මායාකාරිය, ගජබා රජ කල සොළී රටට දොළොස් දහසක් අල්ලාගෙන ගිය බිල්ලන්, කෝට්ටේ රාජසිංහ කල දරුවන් අල්ලාගෙන ගිය ආඬිගුරුන්, බිළිඳුන් පැහැරගන්නා අහිගුණ්ඨිකයන්, පාසැලේ සිට කරෝල වාඩියකට බිල්ලන් රැුගෙන ගිය දරුවා ආදී සියල්ල ඇදහිය නොහැකි යමකට විශ්වාසනියත්වය ආරූඪ කරනු පිණිස ගොඩ නැගුනු කතාංශුන් ය.

මහාවිහාරය හා අභයගිරිය අතර, රෝමානුන් හා මුල් ක‍්‍රිස්තියානින් අතර, කෛ‍්‍රස්තව නිකායන් අතර, ක‍්‍රිස්තියානින් හා මුසල්මානුවන් අතර, මුසල්මානු නිකායන් අතර, මුසල්මානුවන් හා යුදෙව්වන් අතර යනු වශයෙන් ගෝනිබිල්ලන් ලෝකය පුරා හා ඉතිහාසය හරහා ගමන් කරති. යුදෙව් සමූල ඝාතනයක්, ඩාෆූර් ඝාතනයක්, රුවන්ඩා ඝාතනයක් ඇති වන්නේ මිනිස් පරම්පරා දෙකක් තරම් සුළු කාලයකදීය.

විරැකියාව, දුගීකම, ආර්ථික අර්බුද, වැනි සමාජ ආතතීන් ඇති කාල වකවානු ගෝනිබිල්ලන් ඇතිවෙන බීජ යහන් වේ. ආර්ථික ස්ථර හරහා, සමාජ සමූහ හරහා දිවෙන සාංකා බහුල කාල වකවානු පූර්වජ බිය පෝෂණය කරයි. බැමිණිටියා සාය, දෙවැනි ලෝක යුද සමයේ බෙංගාලය වෙලාගත් සාගතය එබඳු කාල වකවානු වෙයි.

මෙතෙක් විග‍්‍රහ කර නොගත් සමාජ සංසිද්ධීන් විග‍්‍රහ කර ගන්නා තෙක් මිථ්‍යා ස්වරූපයෙන් සැකය හා බිය ඉස්මතු වීම මිනිස් ස්වභාවය විය යුතුය. අභූතරූපී ගෝනිබිල්ලා සංකාමාත‍්‍ර මත යැපෙමින් කතන්දර අතර සැරිසරයි.

චිත්‍රය: ෆ‍්‍රැන්සිස්කෝ ගෝයා - බිල්ලාගේ පැමිණීම -1797

2 comments:

Pathum Punchihewa said...

//කාලය විසින් වෙනස් නොකරන එක දෙයක් නම් මිනිස් සිතෙහි සාංකාවයි. "//
හෂිත අය්යා, මට මේ කථාවත් එක්ක මතක් වෙන තවත් දෙයක් තියෙනවා. ඒ හෑම්ලින් හි නලාකාරයාගේ කථාව. (Pied Piper of Hamelin) සමහරවිට ඒ මානව වර්ගයාගේ සාංකාව දුෂ්ටයාගේ අභූත රූපය සමඟින් ඡේදනය වුනු තැනක් වෙන්න ඇති.
ඊලඟ කාරණය, මේ "ගෝනි බිල්ලා" අද සමාජයේ පවා පොදු දුෂ්ටයා බවට පත්වෙනවා. එකක් urban myths. සමහර urban myths වල කියවෙනවා hook-man ගැන. ඒකත් ක්ලැසික් ගෝනි බිල්ලා රූපාන්තරණය වීමක් කියලා මට හිතෙනවා.
තුන්වන කාරණය, දුෂ්ටයාගේ පැවැත්ම අවසන් වීමත් සමඟින්ම වීරයාගේ පැවැත්ම අවසන් වෙනවා. සෑමවිටම රාජ්‍යයක පැවැත්ම තීරණය වීම සඳහා පොදු දුෂ්ටයෙක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ රාජ්‍යය රාම රාජ්‍යයක් විය යුතුයි.
අන්තිමටම මේ කථාවත් එක්ක ඈඳෙන කාටුන් චිත්‍රපටයක් තියෙනවා. "megamind"... අවසානයේ පරිපූර්ණ දුෂ්ටයා වෙන්න පුළුවන් වෙන්නේ වීරයෙක්ටද මන්දා.
මේ කමෙන්ට් එක ලිවුවේ මේ පෝස්ට් එකේ වියමන් වෙන "මිනිස් සිතෙහි සාංකාව" සහ "වීරයා-දුෂ්ටයා අතර ද්​​​වෛතවාදී අදහස" කියන ප්‍රවේශ දෙකම එක්ක මට දැනුනු දේ කීයන්න.
වටිනා පෝස්ට් එකක්.

hare :-) said...

ඒක මට හිතෙන්නෙ ආගම වගේ මිනිස්සුන්ගෙ මානසික හිස්තැනක් සම්පූර්ණ කරන අවශ්‍යතාවයක්!