Sunday 29 January 2012

විජය කුවේණි - 4




සමහර අභිචාර විධි ඇති වූ හේතුව එහිම පැවසෙතත් බොහෝ විට සමූහ විඥානය විසින් මෙහෙයවන අප්‍රකාශිත හේතුවක් අභිචාර විධියේ උප්පත්තිය විය හැකිය. කුවේණිය; ලිලී පොටර් [කියවන්න හැරි පොටර් කතා මාලාව] කෙනෙකු, කන්නොන් සාමාවක මෙන් කළ ප්‍රේමණීය ජීවිත පරිත්‍යාගය අප ආරක්ෂා කරමින් අවකාශයේ පවතින බව සිතන්නට මම කැමැත්තෙමි.

ප්‍රේමයේ, නොවෙනස් වන බවේ සංකේතය වන දියමන්තිය දිවක් [දිගු කළ දිව ෆැලික සංකේතයකි] නිසා විජය රෝගී විය. වජ්‍රමය දිවක් ඇති දිවි වෙසකින් කුවේණිය පැමිණ විජය ගේ හෘද ය වෙත දිව දිගු කළ බව කුවේණි අස්න කියයි. ගණ ගෝත්‍ර පොදු තිරණයට එකඟව කුවේණියගෙන් වෙන් වූ විජය ගේ අවිඥානය ඔහුට වද දුන්නේ ඔහුගේ පරිකල්පනීය ලෝකය අවුල් කරමිනි. අනාර්ය කුවේණියගේ අවිය වන්නේ ආර්ය මහ දෙවි ඉන්ද්‍ර [ථෙරවාදයේ ශක්‍ර දේව, මහායාන විස්වාසයේ වජ්‍රපාණි]ගේ වජ්‍රායුධයයි. විජයගේ අවිඥානය ඔහු වේදනාවට පත් කරන්නේ මහදෙවි ස්වරූපයෙනි. සෘග් වේදයට අනුව ඉන්ද්‍ර කුලයෙන් නෙරපූවන් නැවත කුලයේ පිහිටුවයි.

[මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ නගර වැනසූ ආර්යයන්ගේ දෙවි වු නිසා ඉන්ද්‍ර දෙවි පුරන්දරනමින්ද හැඳින්වෙයි.]

විජය පඬි රටින් ගෙන ආ කුමාරිකාව හා පෙමින් නොඇළුනා පමණක් නොව ඇය හා කිසිදු කායික සම්බන්ධතාවයක් නොපැවැත්වූ බව රාජාවලිය සඟවතැයි මට සිතේ. එසේ නම්, 'විජය රජුගේ බිසව බඩ වඳ හෙයින්' යනුවෙන් රාජාවලිය පවසන්නේ විජය හා සහවාසයක් නොවී ඉතිහාසයේ නමක් හෝ නැතිව මැකී ගිය කන්‍යා කුමාරියක් ගැනය.

සවැනි පැරකුම්බාවන් කලක් මලයාවේ ස්වර්ණ පුරයේ ගත කළ බවද, එහි බිසවක්ද පුරන්දර නමින් වූ පුතෙකු ද වු බව ඉසිවර පරණවිතානයන් උපුටා දක්වන මහාචාර්ය මුදියන්සේ දිසානායක කියයි. චෙං හෝ ගෙන් උපකාර ලබන පැරකුම්බාවෝ පන්තිස්වසකට පසු ලක එක් සේසත් කරති. කීරවැල්ලේ රන් මැණිකා ගෙන් ලබන පුරන්දර දරුවා ද මිය යයි. ස්වර්ණපුර බිසවගෙන් වෙන් වූ පුරන්දර දරුවන් දෙදෙනාගේ මරණ නිසා සෝ බර වූ පැරකුම්බාවන් වෙත උතුරුමුළ මහ තෙරිඳු [රාහුල උන්නාන්සේ] කුවේණි අස්න හා සිහබා අස්න ලියූ බව ඔහු තව දුරටත් කියයි.

කොහොඹා යක් කංකාරියේ උත්පත්තිය වෙන පඬුවස්දෙව් රජ හට කුවේණියගෙන් පැමිණි දිවිදොස තුරන් කිරීමට මලරජ ඇතුලු තුන් කට්ටුවක් ලංකාවට කැඳවා ගෙන ඒම සඳහන් වෙයි. ඒ මල රජ මොනරයතුරු පැද ගිය බිසව ඇතිකරපු කුමාරයෝ යයි දැනගත යුතුය -රාජාවලිය. සීතාව ගෙ පුත්‍රයා මෙසේ රෝග සුව කිරීම සඳහා කැඳවා එන්නේ ද , ඒ සඳහා රාහු අසුරයා මුල වන්නේ ද වියෝව පිළිබඳ සංකාවෙන් මිදවීම පිණිස ඔවුන් සතු කවර ගුණාංගයක් නිසාද?

යුදයෙන් දිනූ රාම සීතාව රැගෙන ආපසු ගිය බවද, රාවණ රජු කෙබඳු කෙනෙක්දැයි යෙහෙළියක ඇසූ විට කෙහෙල් පතක රාවණ රුව ඇඳි බවද, රාම එනු අසා කෙහෙල් පත ඇඳ යට හෙලූ නමුත් රාවණා බලයෙන් ඇඳ සෙලවුනු බවද, ඒ දුටු රාම සීතාව පිටුවහල් කළ බවද ප්‍රවාද ගතය.

සීතාව පිටුවල් කළ රාම එකී සිත් වේදනාවෙන් උන් බවද, දෙවනුව සීතා හා දරු තිදෙන හමු වූ පසුව සීතාව සිය මව වූ මිහිකත වෙත ගිය බවද රාම සියදිවි නසාගත් බවද තව දුරටත් කියැවේ. වියෝව නම් නුඹටමැ නොව රාම විජය ආදීන්ටද පොදු ධර්මතාවයකැයි කියා පැරකුම්බාවන් සැනසීමට 'භාෂාව' භාවිත කළෝ රාහුළ මහා ස්වාමින්ද්‍රයෝය.

කුවේණියගේ අපූර්ව පෙම් කතාව, ඇයගේ පරිත්‍යාග ශක්තිය කතන්දරයක් බවට පත් වී දනන් තුඩ තුඩ රැව් දෙමින් පරම්පරා අනුයාතව පැමිණ; අභයගිරියට පැමිණි හා අභයගිරියෙන් පිටට ගිය දැනුම හා මුසු වන්නට ඇත. සුවණ්ණ පුරයට, ශ්‍රී විජය පුරයට ගිය භික්ෂූන්, තාපසයින්, වෙණෙඳුන්, දේශාටකයින් විසින් කුවණ්නාවගේ වරුණ ඈත පෙරදිග පැල කරන්නට ඇත.

එනයින් කුවණ්නාව ගුඅන්යින්[චීනය], කුඅන්යින්, කන්නොන්[ජපානය] කුඅන් එයිම්, පරම කුඅන් එයිම් [තායිලන්තය] කුඅන් තෙ ආම්[වියට්නාමය] කුඅන් යුම්[හොං කොං] කබ්යීබ් [යුනාන් කඳුකරය-චීනය] දේවි කුඅන් යිම් [ඉන්දුනීසියාව] හෝ පරම මෛත්‍රිය තාරා [ටිබෙට්] යනුවෙන් මහායානයට කුලවැද්දී සම්භාවනාවට පාත්‍රවූ බව සිතීමටද මම කැමැත්තෙමි. ඇය කුඩා දරුවන්ගේ ද, සමුද්‍රයාත්‍රිකයන්ගේ [විජයගේ] ද ආරක්ෂක දෙවඟනයි. කුවන් යින් සියලු මිනිස්වග නිවන් දකින තෙක් ඔවුන් වෙනුවෙන් සිය නිර්වානය පමා කළ මහා කරුණාවන්තියයි.

ඉතිහාසය ගොඩ නැගෙන්නේ භාෂාව නිසාය. විජය-කුවේණි අමරණීය වන්නේද භාෂාමය විශ්වයක බව මට සිතේ. ඉතිහාසය පුරාවෘත්තය බවටද පුරාවෘත්තය මිථ්‍යාව බවටද පත්වීය යනුවෙන් ජේ ආර් ආර් ටොකීන් 'ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්' හි ලියන්නේ ඒ නිසාය.

කට බොරු කිව්වද දිව බොරු නොකියයි..!

සේයාරුව: වැල්ලෑගල පන්සලේ සූනියම් දේවාලය ඉදිරිපිට 2010 මාර්තු පැවැත්වූ සොකරි නැටුමේ ආඬි ගුරු සොකරි අම්මා සමග ලංකාවට පිටත් වීම. ස්තුතිය ලිෂාන් ට

Sunday 22 January 2012

විජය කුවේණි - 3

පුරාතන ගණයෝ පුද්ගලයාට වඩා සමූහය වැදගත් කොට සැලකූහ. ලිච්ඡවීන් අනුගමනය කළ අපරිහානීය යැයි හොඳින් පෙනෙන සප්ත ධර්මයන් විසින් ඔවුන් බැඳී සිටියහ. ගණ තීරණයට පිටුපා කැරළි ගැසූ විජය සේනාපති ඇතුලු සේනාංකය පිටුවහල් කරන්නේ ඒ රීතියට අනුවය. එහි අනෙක් අරමුණ වූයේ උත්තරාපථයේ නොවෙන අන් දෙසක හෝ ගණ සංස්ථා පිහිටුවීමයි.

විජය හා කුවේණිය අතර ඇති සම්භෝග ප්‍රේමය ගණයේ අභිලාශයට බාධාවකි. ඔවුන්ගේ අරමුණ සිය ජාන සම්පත්තිය සුරැකීමයි. පැහැපත් සමින්, පැහැපත් නෙතින් හා පඬුපැහැ කෙසින් යුතු අවම වශයෙන් ක්ෂත්‍රිය වර්ණයට හෝ අයත් කුමරියන් සොයා ගොස් සිය ජාන සම්පත වෙනත් පරම්පරාවක් කෙරේ සම්ප්‍රේෂණය කළ යුතුය. කුවේණිය නම් සුපිරි ගැහැණිය ඔවුන් වෙත මහත් බාධකයක් ව සිය රුසිරින්, නුවණින් හා හැකියාවෙන් ආඪ්‍යව ගණ අභිලාශය ඉදිරියේ නැගී සිටියි.

ඇය සතු පුරාතන ඥානය විසින් හා විජය සතු කෞශල්‍යය විසින් ඔවුන් දෙදෙන එකිනෙකා හා වජ්‍රමය බන්ධනයකින් බැඳ තබා අහවරය. එකී බන්ධනය විසින් කුවේණිය සිය සංකේතීය ලෝකය විනාස කර දමන තැනට පත් කර තිබුණි. සිය ඥාති වර්ගයා ආගන්තුකයාගේ වසයට පත් කළ කුවේණිය යුග පැරණි සංකේත පද්ධතියක් වනසා ඇත.

විජය ඇතුළු ගණ යෝධ කැල ඔවුන් පුහුණු කළ ගණ සංස්ථා රැස්වීම් පැවැත්වූවා වන්නට ඇත. විජය විෂයයෙහි ඔවුන් මුහුණ දෙමින් උන් උභතෝකෝටිකය සාකච්ඡාවට ගත්තා වන්නට ඇත. ගණ ගෝත්‍රයක පුද්ගලයාට වඩා ගෝත්‍රය, සමූහය මුල් වෙයි. හයසිය අනූනව දෙනෙකු හා විජය යනු අතුල්‍ය බල සැකැස්මකි. විජය මහා ප්‍රජාතාන්ත්‍රිකයෙකු වන්නේ ඒ නිසාය. ඔහු ගණ තීරණයට හිස නමන්නට ඇත. ක්ෂත්‍රිය කුමාරිකාවන් සොයා දූතයන් පඬි රටට යැවූයේ එහෙයිනි.

විජය හා කුවේණිය වෙන් වන්නේ ගණ තන්ත්‍ර තීරණයට හිස නමමිනි. ඔවුන් අනෙකුත් උම්මත්තක ප්‍රේමවන්තයන්ට වඩා වෙනස් අයුරක උම්මත්තකයින් දෙදෙනෙකු වන්නේ පුද්ගලයාට වඩා සමූහයට මුල් තැන දුන් නිසාය.

විජය සේනාපති සිය පරිකල්පනීය ලෝකය මේ නිසා විනාස කර ගත්තේය. ඔහු හා කුවේණිය අතර ඇති අර්චනකාමී බන්ධනය බිඳීම විජයගේ පරිකල්පනීය චිත්තය සුණු විසුණු කළ කොන්ටම් මට්ටමේ පිපිරීමක් වන්නට ඇත.

කුවෙණිය හට සිය 'යථ' හමු වන්නේ ඇයගේ සංකේතීය ලෝකය පුපුරා ගොස් කලක් ගත වූ පසුවය. සිය ගෝත්‍රයට පිටුපා විජය හා බැඳුනු බැම්මෙන් ඇය මවා ගත් සංකේතීය තිරය තව දුරටත් වලංගු නොවෙන බව සෘජු ප්‍රජාතන්ත්‍රය කුටුම්භය වෙත සම්ප්‍රේෂණය කරන පණිවුඩයයි. යථ හමු වීම යනු මරණය හමු වීමයි. කුවේණිය මරණය තෝරාගන්නේ ඇය සතුව අනෙකුත් හැකියාවන් නොතිබූ නිසා නොවේ. විජය හා බැඳුනු වජ්‍රමය සම්බන්ධය බිඳුනු පසු ඇයට සත්තාව අරුත් විරහිත වීම නිසාය.

ඇයගේ සංකේතීය ලෝකය වන යක්ෂ ගෝත්‍රය වෙත ආපසු යෑමට පෙර ඈ නැගූ විලාපය විලාකටුපොත ගල්තලාවක ලියා ඇතැයි ජන ප්‍රවාදය කියයි. විලාපය කටු ගෑ පොත විලාකටුපොත වී යැයි කියැවේ.එම ගලෙහි ලියූ විලාපය කටුගා දමා ඉරි කැබලි පමණක් ඉතිරි වී ඇතැයි ද කියැවේ.

ඇයගේ අවසාන ප්‍රේමණීය ක්‍රියාව සිය දිවි නසා නොගෙන සිය ඥාති වර්ගයා අතින් මරණයට පත් වීමයි. සිය සංකේතීය ලෝකය කිළිටි කළ කුවණ්නාව වෙත දඬුවම් දුන් පසු සංසිඳෙන යක් ගණය නිසා විජය ඇතුළු පිරිසට සැලසෙන ආරක්ෂාව ඇයගේ අරමුණ වූවා වන්නට ඇත. කුවේණිය ඉතිහාසයේ පැනෙන සියළු අක්‍රිය පෙම්වතියන්ට වඩා විශිෂ්ට වන්නේ ඒ නිසාය.

වැල්ලෑගල ගිරිමුදුන ගුප්ත හාස්කම් ඇති තැනක් යැයි එහි පැමිණෙන බොහෝ දෙනෙක් විස්වාස කරති. කුවේණිය එහි පැමිණියා වන්නට බැරිද? ඇයගේ උමතු ප්‍රේම පරිත්‍යාගය දුකට පත් ජනයා ආරක්ෂා කරමින් එහි රැඳී පවතිනවා වන්නට බැරිද?

ගූඪ බව මිනිස් සන්තානයේ ඇති රෝගී සංකාවට එක් ප්‍රතිකාරයකි.

ස්තුතිය - කොළඹ අවන්හලකදී හමු වූ විටෙක අතට අසු වූ කොළ කැබැල්ලක න්‍යායික කරුණු ලියා පැහැදිලි කරන ඩෝසන් ප්‍රීති සහෝදරයාට

සේයාරුව: ජායිපුර් හි මහාරාජා ජය සිං[හ] විසින් ඉදි කළ 'ජන්තර් මන්තර්' අන්තරීක්ෂ දර්ශන-මාන ව්‍යූහයේ මිථුන ලග්නය.

Monday 16 January 2012

විජය කුවේණි - 2


වාරියපොළ හන්දියෙන් මඳක් ඔබ්බට ගිය විට වැල්ලෑගල විහාරය හමුවෙයි. විහාරය පිහිටා ඇත්තේ ගිරිකුළක මැද හරියේය. විහාරයටත් වඩා ප්‍රසිද්ධ සූනියම් දේවාලයක් එහි වෙයි. ස්කන්ධ [සිංහ?- (සවෙනි ශාක්‍ය කුමාරයා උන් තැන මාගම් නුවර විය-රාජාවලිය)] හා ආරොවට පත් වල්ලීය එහි කලක් විසූ බව පුරාවෘතය පවසයි. දේවාලයත් විහාරගෙයත් අතර පෙත් මගෙහි ගල් නෙරුවක් ඇත. ගල් නෙරුව මතට ඈතින් ඇති කන්දක් පෙනෙයි. උදෑසන ඒ දෙස බලන කෙනෙකුට ගුප්ත සංඥාවක් කරමින් දිග සෙවනැල්ලක් තැනි බිමෙහි ඇඳෙයි.

‘ඔය තමයි දොළුකන්ද’ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ පවසති.

කුවේණිය මේ බිමෙහි සැරිසැරුවා වන්නට ඇත. ආර්යවර්තයේ නැගෙනහිර කොණේ සිට මුහුදු යතුරා පැමිණි රන්වන් ඡවි, කේශ, නේත්‍රායෙන් හෙබි ගෝත්‍ර නායකයා ඇයගේ ප්‍රේමයට බඳුන්වූවා විය හැකිය. ගණ සංඝයේ විවිධාකාර ශිල්පීය දස්කමින් යුක්ත ඔහු ඇයගේ විරුවා වන්නට ඇත.

කුවණ්නාව ඉතිහාසයේ හමු වන අපූර්වතම ස්ත්‍රියකි. ඇයගේ උපත්තියේ සිට පියොවුරු තුනක් සහිතව උන්නාය, සිය ඉරණම්කරු හමු වු විට ඉන් එකක් මැකී යන බවට අනාගත වාක්‍යයක් විය. පච්ඡිම රාජනිය නම් ජගන් මාතාවක විස්වාස කළ ඇයගේ ගෝත්‍රය මානව වංශ සන්තතියේ පෙර අවධියක පසු විය. පියොවුරු තුනක් සහිතව උන් අනිත් කාන්තාව නම් ‘පත්තිනි’ය උපන් මදුරා පුරයේ ම උපන් ‘මිනාක්ෂි’යයි. ඇයගේ උපතේදී ද කුවණ්නාවට ට ම බඳු අනාවැකියක් පළ වූ බව 'ස්ථල පුරාණය' පවසයි.

බොහෝ මිථ්‍යා රූපික කාන්තාවන්ට මෙන් කුවේණියට ගුප්ත හැකියාවන් ආරුඪ කිරීමට කතා කරුවෝ උත්සුක වි ඇත්තා හ. විවිධ රූප ගැනීමට, එයිනුත් වෙළඹ රූපයක් ගෙන යක් සෙනඟ නැසීමට විදෑවන්ට උදව් කළ යක්ෂණියක් ඒ අනුව රූපණය වි ඇත. දිවි දෙනකට බඳු නම්‍යශීලී සිරුරකින් හා වෙළඹකට බඳු ජවයකින් උන්නා යැයි පරිකල්පනය කළ හැකි කුවේණිය විජය ගේ නාරි අර්ධය වීම ප්‍රශස්තය. රන් සිරුරින් යුතු ඔහු උපුල්වන් සිරුරකින් යුතු ඇය හා සම්භෝග වීම තාන්ත්‍රික යෝගයකි. වජ්‍රමය එකීයත්වයකි. දියමන්ති හෝ ඊට සමාන අවිනාශීය දැඩි බවකින් යුතු වජ්‍රය, විටෙක හෙණපහරක් සේ ඉන්ද්‍ර අතෙහි ලෙළ දෙයි. මහායානයෙහි වජ්‍රය මාර්ගය සංකේතවත් කරයි.

කුවේණිය රූපත් බවට හා ඇය විජය සේනාපති හා දැඩි පෙමින් කල් යැවූ බව පැවසෙන කතා, කතා අන්තර පඬුවස්නුවර, වාරියපොළ ආදි ප්‍රාන්තයන්ගෙන් සොයා ගත හැකි බව මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දෙගම 1990/2000 පියවර සඟරාවට ලියා ඇත.

ඉහත කී වැල්ලෑගල පන්සල ඉදිරියෙන් ගනේවත්ත පාරේ කුවේණිගල වෙත යා හැකිය. එක් කලෙක විජය සේනාපති දරුණු කුෂ්ට රෝගයකින් පෙළෙමින් සිටි බැවින්, තම්මැන්නා නුවර උණුසුම් වැඩි හෙයින් සිංහ පුරයට සමාන දේශගුණයක් සහිත තැනෙක විසිය යුතු මනා බව තීරණය කෙරිනි. රෝගියා වෙන්කර තැබිය යුතු වීම අනෙක් උවමනාව විය. දොළුකන්දේ පර්වත ගුහාවක විජය සේනාපති නවත්වා පිළියම් කෙරිනි. විජය කුවේණි ප්‍රේමය කෙතරම්ද යත් උනුන් නොදැක සිටිනු නොහැකි වීම අන්‍යතර රෝගයක් විය. කුවේණිය දිනපතා කුවේණිගල මත විදෑවන්ට පෙනෙන සේ හිඳ ඉතා දිගු සිය වරලස ගලෙන් පහළට වැටෙන සේ මුදා හැර කෙස්වැටියේ අවුල් හරිමින් එය පීරමින් සිය පෙම්වතා දෙස බැලුම් හෙළමින් හුන් බව ජනශ්‍රැති ගත ව ඇත.

ප්‍රේමය සතු එක් ගුණාංගයක් නම් ප්‍රේම වස්තුවක් හෙවත් අර්චනකාමී වස්තුවක් සිය ප්‍රියයා- ප්‍රියාව ඇසුරෙන් තනා ගැනීමයි. ප්‍රේම වස්තුව හෝ අර්චනකාමි ෆැන්ටසිය [phantasy], අහිමි විමේ සංකාවෙන් කෙනෙක් මුදන තිරයක් තනා දෙයි [එස්තර් සැන්චෙස් පාර්දො-මෙලනි ක්ලයින් හා නූතන විෂාදි]. එකී තිරය දෙස බලන පෘතග්ජනයා පරිපූර්ණ බවට පත් වීමේ මායාවෙන් සතුටට පත් වෙයි. අර්චනකාමී ෆැන්ටසිය අවසන් විය හැකි වන්නේ මරණයෙන් විය යුතුය.

කෙනෙකු සිය ගෝත්‍රයට ද්‍රෝහි වීම, ප්‍රේම වස්තුව අතහැර දැමීමට සිදුවීම, දාරක දුහිතෘ අහිමි වීම විෂාදිජනක විය හැකිය. ඇතුළත හා පිටත ගැට නොලෙහෙන ලෙස තදින් ලෞකික ප්‍රේමයකින් බැඳුනු විදෑවන් හා කුවණ්නාව ඉතිහාසයේ ඈත ලක්ෂ්‍යයක සිට කාල චක්‍රය හරහා අප වෙත එවන්නේ ඔවුන්ගේ අනුල්ලංඝනීය ප්‍රේම සංඥාවයි.

අහිමි විමේ සාංකාව මිනිස් වර්ගයා සදා පෙලන රෝගයයි.

සේයාරුව: යක්ෂනී- පැට්නා කෞතුකාගාරය- විකිපීඩියා

Sunday 15 January 2012

විජය කුවේණි -1

විජය කුවේණිව එලවලා පඬි රටෙන් කුමාරිකාවක් ගෙනත් බිසව කරගත්තා. කුවේණි දුකට අඬ අඬා නෑයින් ළඟට ගියා. නෑයෝ කුවේණිව මරලා දැම්මා. ජීවහත්ථ දිසාලා දෙන්නා කැලේටගියා. දෙන්නගෙන් තමයි වැද්දො පැවතගෙන එන්නේ. එච්චරයි..!

ඉතිහාසය එතරම් සරළ නම් අපිට සතුටු විය හැකිය. එය සරළ නැත. එහි වැසී පැවතුනු වේදනාවන් සංඥාවන් සංස්කාරයන් හදිසියේ 'සෙල්ලිපියක මතුපිට අකුරු අතරින් මතුවන වෙනත් සෙල්ලිපියක්' සේ ඉස්මතු වෙයි. කෙනෙකු අසන කෙටි පැනයක් මේ සියල්ල දල්වනවා විය හැකිය. අපි ඉතිහාසයේ පෙම් චරිත ගැන කතා කරමුද? යනු එබඳු පැනයකි. අපි දන්නා පෙම් කතා බොහොමයකි. රාමා සීතා, සාලිය අසෝකමාලා, ගැස්කෝන් ප්‍රමිලා අපි අසා ඇති වෘත්තාන්තයෝ වෙති. ගැමුණු රන් මැණිකා, කීර්ති ශ්‍රී රාජසිංහ සුබ්බම්මා ආදී සැඟවුනු පෙම් කතාවෝ ජන කතා අතරින් ඉස්මතු වෙති.

විජය කුවේණි?

කාලචක්‍රයේ අඳුරු හෙවනැළි අතර සඳපහන් රැයෙක වනස්පතියක අරළු අතරෙහි පෙමින් අබිසෙස් ලද ශෘංගාරමණ්ඩපයක කුළු ගැන්වුනු ගාන්ධර්ව විවාහයක නටබුන් සේ පෙනෙන මහාවංස ගාථා හතරකින් පමණක් කියා නිම් කළ නොහැකි ප්‍රේම වේදනාවකින් මිය ගිය විදෑවන් හා කුවණ්නාව පොදු අවිඥානයේ සැඟව සිටිති. ඔවුහු අපගේ ‘ගර්භ විඥානයේ’ ශුක්‍ර ශ්‍රෝතස සේ තැන්පත්ව සිටිති. මේ කාලචක්‍රය විනිවිද එක කොන්ටම් ක්ෂණයක ඔවුන්ගේ හා අපේ ශ්වාස රිද්මය සමාන්තරවූ මොහොතේ ඇතිවුනු සිතිවිල්ලයි. අපගේ පොදු විඥානය පුරා පැතිරී ඇති ඓතිහාසික වරදක පැල්ලම් මත තැවරුනු කොන්ටම් දුහුවිල්ල පිස එන අතීතකාමයක සුවඳ පොදයි.

ලංකා ඉතිහාසයේ මා දන්නා විජය ලා දෙන්නෙකි. එක්කෙනෙක් පෙම් කුමරෙකි, නළුවෙකි, ප්‍රජාතන්ත්‍රවාදියෙකි, කඩවසම් මිනිහෙකි. අනිත් කෙනා ජාතියක ආරම්භකයෙකි, දේශාටකයෙකි, මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකි, පුද්ගල සතුට ප්‍රජා අරමුණ වෙනුවෙන් කැපකළ නර ශ්‍රේෂ්ඨයෙකි, ප්‍රේමාතුරයෙකි.

විජය සිංහබාහුගේ හා සිංහ සීවලීගේ ඖරස පුත්රයාය. ඔවුහු හිමාලය නැගෙනහිර බෑවුමේ හා මගධයේ සිටි එක් ආර්ය ගෝත්‍රයකි [නේපාලයේ තොරායි තැනිබිම, බෙංගාලය - භාත් ඛානා ?- බත් කන පෙදෙස් ]. ලිච්ඡවීන්, මල්ලයන්, කෝලියයන් හා ශාක්‍යයන් මෙබඳු ගණ ගෝත්‍රයෝය. ගණයක් ගණ නායකයෙක් හා ගණ සාමාජික ඥාතීන් ගෙන් යුක්තවෙයි. ගණයක ගැහැණුන් හා පිරිමින් ඝණ සංඝයෙහි හැර අන් තැනෙහි සම අයිතියෙන් යුක්ත වෙයි. දරුවෝ ගණයට අයත් වෙති. මහාවංසයට අනුව සිද්ධාර්ථයෝ ශාක්‍ය කුමරෙකි. ශාක්‍ය ග්‍රාමණීයයෝ කුලපාරිශුද්ධිය දිවි දෙවැනි කොට තැකූ අරිය ගණයකි.

ඔවුහු පුද්ගලික බව ගණයට දෙවෙනි කළාහු වෙති. මහාචාර්ය රාහුල සංස්කෘත්‍යායනයන් අනුව කියැවෙන්නේ, ඔවුහු සතුටෙන් ජීවත් වූ බවයි, අස් ධාවනයෙහි, ඛංග-ධනුද්ධර ශිල්පයන්ගෙ කෙළ පැමිණි බවයි. ගෝපාලනයෙහි අශ්ව සිංචනයෙහි පාරප්‍රාප්ත දැනුමින් යුතුවූවාහු බවයි. ධාන්‍ය රෝපණයෙහි, උද්‍යාන ගෝපනයෙහි, ද්‍රාක්ෂා සවනයෙහි, ඛාද්‍ය ව්‍යඤ්ජනයෙහි සමර්තයන් වූ බවයි. නර්තනයෙහි හා සංගීතයෙහි ප්‍රමාණික වූ බවයි. සප්ත අපරිහානීය ධර්මය මහා පරිනිබ්බාන සූත්‍රයට ගෙතෙන්නේ ලිච්ඡවී ගණය නිසා . ගණ සමාජයෝ සප්ත අපරිහානීය ධර්මයෙන් යුක්ත වූවාහුය.

ඔස්මානියා සරසවියේ කංචා ඉලයියා ඇදුරුන් අනුව, බුද්ධපරිනිර්වානය සිදුවන කාලය කෝසලය හා මගධය දෙපසින් ගණගෝත්‍රයන් තලා වනසනු පිණිස පිඹුරුපත් සැකසූ යුගයකි. ආදි ප්‍රජාතන්ත්‍රය මහාරාජ්‍ය ක්‍රමය විසින් ගිල ගැනීමට නියමිත වූ යුගයකි. කෞටිල්‍ය/චාණක්‍ය විසින් ගණිකාවන්, වෙදුන්, කරණවෑමියන් ලවා ගණ නායකයන් භේද කොට උනුන් මරාගනු පිණිස යොමු කරවූ යුගයකි.

විදෑවුන් ගණ තීරණ ඉක්මවා ගණ උරුමය රකිනු පිණිස කෝසළ [පසේනදී කොසොල්] මගධය [බිම්බිසාර] යන මහාරාජ්‍යයන් හා සටනට එළැඹ සිය සත්සියයක් ගණ යෝධයින් හා එක්ව කැරැල්ලක් මෙහෙයවූ ශාක්‍ය සේනාපතියෙකි.

අරීය ගණයේ නීතිය කෙසේද යත්, වරදකරුවෙක් විනිච්චය මහාමත්ත වෙත ඉදිරිපත් කෙරෙයි. ඔහු වෝහාරික වෙතද, ඔහු සුත්තධාර වෙතද, ඔහු අට්ඨකුලක [ගණ අධිකරණය]වෙතද, එමගින් සේනාපති වෙතද, සේනාපති උපරාජ වෙතද උපරාජ, රාජ [ගණ නායක-මහාලි ගණ නායකයෙකි] වෙතද යොමු කෙරේ. රාජ විසින් ප්‍රවේණි පුස්තකය විමසා බලා දඬුවම නියම කරයි.

මෙබඳු විධිමත් අධිකරණ ක්‍රමයක් තිබූ ගණ ගෝත්‍ර විනයක් තිබියදී පියාගේ[සිංහ බාහු] කැමැත්තට විජය-සිංහ හිස් අඩක් බූගා නැවක දමා පිටුවහල් කළා යනු ඉතා සරළ කළ විග්‍රහයකි. ගණයෙන් පිටුවහල් කිරීම මරණයට වඩා මාරාන්තික වන ක්‍රමයක විජය ගණයෙන් පිටුවහල් කළ බවද පිළිනොගැනිමට කැමැත්තෙමි. වෙනුවට මහාරාජ්‍යයන් විසින් අභියෝගිත ගණගෝත්‍රයක් වෙනත් පෙදෙසක ජනාවාස වනු පිණිස සිය අග්ගසාර යොධ කැල නැව්නංවා පිටත් කළ බව විස්වාස කිරීමට මගේ හිත මට බල කරයි. සිය ජාන සම්පත්තිය සංරක්ෂණය කිරීම ගණ ගෝත්‍රයන් ඉදිරියේ තිබූ මහත් ගැටළුවකි. හාඩි හා වයින්බර්ග් පෙර සිය ජාන අන් තැනෙක සංරක්ෂණය කෙරෙනු පිණිස දූපතක් තෝරා මෙසේ යැව්වෝ ආර්ය ගණයෝ වෙති. ක්‍රමාණුකූල ජාන විතරණය නිසා ඇතිවන සුළු වෙනස්කම් පමණක් මහා දීපයෙන් වෙන් වූ දූපතක ඇති වන බව ඔවුන් දැනසිටියා වැන්න.

මහාවංසය පෙනෙන නොපෙනෙන උදාහරණයන් මේ උදෙසා ගොණු කරයි.

ඉතිහාසය කිසි සේත්ම සරළ නැත.


සේයාරුව-තක්ෂිලා හි නටබුන්-Heritage Key Web අඩවිය