Saturday 19 December 2009

වික්ටර් ප්‍රාතිහාර්යය














භාගේශ්‍රී සරල සැහැල්ලු සන්ධ්‍යා රාගයකි. එය මහත් වූ ආහ්ලාදයකින් සවන් මන පිනවයි. භාගේශ්‍රී ගැන මට කියා දුන්නේ නිමල් අය්යාය. ඔහුගේ ටේලර් සාප්පුවේ දී එකතු වූ සැන්දෑවක භාගේශ්‍රී මූලික ස්වර සංගතිය වාදනය කර පෙන්වා 'හෝ පළු වනපෙත' එච්චර ලස්සන භාගේශ්‍රී නිසා යැයි කීවේය.

හෝපළු වනපෙත පමණක් නොව වික්ටර් ගේ මුළු සංගීතයම මනාව සුසර කළ වයලීනයකි. ඔහුගේ හඬ වයලීන තතකින් කරන හරඹයකි, සිරුමාරුවකි, කස්තිරමකි, අඩව්වකි, සුරලකි.. ට්‍රෙමලෝවකි.. ජලාවකි.. ඇඩ්ලීපයකි. 1975 දිනෙක කෑගල්ලේ නගරශාලාවෙහි '' අසන විට ඇතිවු චමත්කාරය කවර අයුරකින් නම් මඟහැර යා හැකිද...තොටුපළ අයිනේ.. මීනා.. බිංදුමතී අදටත් රූප වශයෙන් මතකයෙහි රැඳී පවතින්නේ මැකිය නොහැකි අන්දමිනි.

අද 'පණ්ඩිත් ජස්රාජ්' භාගේශ්‍රි මුල් කර තැනූ පෙරදිග සංධ්වනියක් අසද්දී හෝපළු වනපෙත ද යළි නොඅසා බැරි විය.ලංකාවේ සංගීතයෙහි හින්දුස්ථානි රාග ඇසුරු වුවද අර්ධ ශාස්ත්‍රීය ගී නිර්මාණය වී ඇත්තේ අතළොස්සකි. පී.වී නන්දසිරි, බී වික්ටර් පෙරේරා ආදීන් අනුදත් ගීත ආරේ, වික්ටර් අතින් බිහිවු ගීය අනූපම වෙයි. එහි ආලාප කොටස කෙටි සරු එකකි. තානාලංකාරය පරිපූර්ණය. තදියමක් හෝ මැලි කමක් නොදක්වන වික්ටර් ගීතයට ප්‍රවේශ වන ලයෙන් ම ආවේගයෙන් ම තානාලංකාරයට ප්‍රවිශ්ඨ වෙයි. එහි නැඟි යාත්‍රා කරයි.. ඉපිලෙයි.. කිමිදෙයි. හෝ පළු වනපෙත අරක් ගත් රාධාව චක්‍ර ගණනකින් අලංකෘත කරයි, රංජනය කරයි. අවසන අනේ ! මේ සින්දුව තව ඩිංගක් දිග වුනා නම් යැයි සිතවමින් නිමා කරයි.

' වික්ටර් නේ හලෝ!' අපේ ගෙදර උන්දෑ මැදට පනී.

වික්ටර් ගේ හඬ අප නොසිතන නොවිමසන තන්හී සියුම් ඉසියුම් හැඟුම් ප්‍රකාශනයක යෙදෙයි. සරා සොඳුරු ගීයෙහි කුණාටු මැදපාදයේ ආරම්භය එවන් එක් තැනකි. ආදර පූජාසනේ හි '‍යෞවන මල් සමයේ' යනුවෙන් ගයන තැනත් එසේම ය. ඔහුගේ අනෙක් අර්ධ රාගධාරී ගියක් වන 'නුඹේ නමින්' හි 'මා හැර ගිය දුකින් තැවී' පාදයෙහි තැවී යනුවෙන් ලෙලෙන කොටස මගේ සංගීත ප්‍රේමයෙකි.

වික්ටර් විශිෂ්ටයෙකි. මගේ ආලවට්ටම් නැතද වික්ටර් විශිෂ්ටයෙකි. ඔහු ප්‍රාතිහාර්යයකි.

Saturday 5 December 2009

ගුනසිංහ.. ගුණසිංහ.. හා මම...













මම ඊයේ හවස ගුනසිංහ දුටිමි.

ගුනසිංහ පණ්ඩිතයෙකි, ගුරුවරයෙකි, කවියෙකි, කතා කරුවෙකි, විචාරකයෙකි, පෙරළිකාරයෙකි. ඔහු සිනමා කරුවෙකි.

ගුණසිංහ ගුරුවරයෙකි, කවියෙකි, කතා කරුවෙකි, විචාරකයෙකි, පෙරළිකාරයෙකි. ඔහු පත්තර කාරයෙකි.

ගුනසිංහ ද ගුණසිංහ ද පේරාදෙණි ගියහ. ගුනසිංහ ගුණසිංහ ට උගන්වන්න ඇතැයි මට සිතේ. ගුනසිංහ පේරාදෙණිකෘත විය. ගුණසිංහ ගුරුකුල වලට හසු නොවීය. රිද්මය රැක්කේය. දෛනික ඇස් රුදාවෙන් තොර විය.

පේරාදෙණියේ 'රැග්' වෙමින් උන් සමයක 'සඳුන්' පැමිණ සඳුන් තවරා ගියේ ය. එදා ද ඔහු පාසල් බස් රියේ දී මෙන් කිහිල්ලේ පොත් කිහිපයක් ගසාගෙන උන්නේ ය. ප්‍රසන්න ජ්‍යෙෂ්ඨ උත්තමයා සොනාලි අක්කා පෙන්නා අර තමයි 'ගුණසිංහ' ගෙ දුව යැයි කීවේ ය.

ගුනසිංහ සරච්චන්ද්‍ර ගේ සීමාවන් ඉක්මවා ගියා දැයි සැක සහිතය. ගුණසිංහ 'ජේ ආර්' ගේ හා 'උපාලි' ගේ සීමාවන් ට යට නොවූ බව පැහැදිලිය.

පේරාදෙණියේදි පිටපත් කරගත් 'රන්තැටියක කඳුලු', අම්මා කුමුදුනී නැන්දා අතේ ගිය පෝයදා එවා තිබුණි.

රන් තැටිය පායා තිබූ දිනෙක අඳුරු හේඩාවෙන් හෙවන නොවී තිබුණු 'සනාතන මන්දිරය' පසෙක බංකුවක් මත රන්තැටියක කඳුලු මතුවිය. දෙ හද එකම රිද්මයකට හඬනු මට දැනින. මහවැලියට මල් විසුරන ලිය ගොමු පවා සුවඳ විරහිත විය. බිනර අහසේ මෝදු වූ පුරහඳ රැස්වැද රන්තැටියක කඳුලු දිලිසුනි. අදත් රන්තැටියක කඳුලු නොවි‍යැලී තියෙයි.

ගුණසිංහ පඩිපෙලක් විය. එහි නැඟී විදුලි සෝපාන ගත වූ බොහෝ දෙනෙකු වෙති. ගුණසිංහ අනුදත් නිර්භය, සිලිටි, තියුණු රචනා ශෛලිය නැති නිසා ඉරිදා පත්තර නොකියවමි. රයිගම් රාළ ලියූ ගුණසිංහ මහත්තයා 'කොලම්' කෝළම් නොකළේය.

කොහිද ඇල්මක්

වැළඳ සමු ගැනුමට

නොදනිමිද

මුහුණු වසාලූ

මිතුරු සිරියෙන්

නොදනිමිද

හඬන හඬ කිඹුලන්

යැයි ඔහු ලිවුවේ විදුලි සෝපාන ගත වූවන් ගැන විය යුතුය.

උමතුවට ඉඩ හලෙන් මොහොතකට

මළවුන්ට යහන් වු බිම් කඩෙක

නිදන දියණියන් ළඟ උන් රැයෙක

කණමැදිරි දුරු කළා මගෙ තනිය. මට කට පාඩම් ය.

මෙන්දක ගේ රාක්කයේ හිඳ මට බොහෝ අමුත්තන් මුණ ගැසී ඇත. මට ගුණසිංහ හමුවුයේ ද එතැනිනි. 'මම තාමත් ගුණසිංහ මහත්තයා කියවනවා' මෙන්දක මූණු පොතේ ලියා තිබිණ.

ගුනසිංහ ද ගුණසිංහ ද ඇවිද ගිය පේරාදෙණි පෙත් මං හි ඇවිදීම ආඩම්බරයක් විය. නිසොල්මන් හන්තාන කඳු සිඛර විනිසුරන් මෙන කල් බලන නිම්නයෙහි අවාරයේ වී මුත් අදත් කහ රොබරෝසියා පිපෙයි. රන්තැටියක කඳුලු පිපුන හිල්ඩා උයනෙහි සුවඳ අමතක නොවන නිසා වැවූ කුඩා රෑ සුරඟනා පැලය අතු බෙදි බෙදී වැවෙයි.

ගුණසිංහ මහත්තයා මගේ රිද්මයේ කවියායි. අන් කවියන්ගේ රිද්මය මට ස්පර්ශවන්නේ ගුණසිංහ මහත්තයා ගෙනි.

නොනිඳයි පහන් තරු ඇස.

මම ඊයේ හවස ගුනසිංහ දුටිමි.

2009 දෙසැ 05